Thursday, June 13, 2019

කෙම් ක‍්‍රම හා බැඳි සන්නිවේදනය


  කෙම් ක‍්‍රම හා බැඳි සන්නිවේදනය 

ආදිම යුගයේ සිට ජන සම්මතව  පැවත එන කෙම් විධි වන ආරම්භය කොතැනකදැයි විනිශ්චය කිරීමට අසීරු වුව ද ලංකා ජනතාව අතර අදත්  කෙම් භාවිතා  භාවිතා වේ. කෙම් යන්න අභිචාරාත්මක ක‍්‍රියාවකි. ව්‍යවහාරාත්මක අර්ථයෙන්  ක්ෂෙමය, ආරක්ෂාව, හා රෝග නිවාරණය සඳහා කරන ක‍්‍රියාව  යනුවෙන් ගැනෙයි. ජන ජීවිතය හා සම්බන්ධ විවිධ ස්වරූපයෙන් බැඳි කෘත්‍යමය කාර්යභාරයක් උසුලන කෙම් ක‍්‍රමය පිළිවෙල යන්න සඳහා ද භාවිතා කෙරේ. 
   දීර්ඝ ඉතිහාසයක් ඇතැයි සැලකිය හැකි කෙම් භාවිත වී ඇත්තේ ගුප්ත විද්‍යාත්මක අර්ථයෙනි. ඖෂධ බලය හා මන්ත‍්‍ර බලය යොදා ව්‍යංගයෙන් කරන ක‍්‍රියාවක් වූ කෙම් ස්වභාවධර්මය හා ගැටුන බලවේගයකි. හෙළ වෙදකමේ දී ද කෙම් සඳහා හිමිවන්නේ වැදගත් ස්ථානයකි. රෝග නිවාරණය පිණිස සිංහලයන් භාවිතා කරන චිකිත්සන අභිචාරයක් ලෙස ප‍්‍රචලිත කෙම් වාචික සන්නිවේදනයකින් තොරව රහසිගතව කරන එක්තරා ගුප්ත පිළිවෙතකි.
   මේ පිළිබඳව තුලනාත්මකව විමසා බැලීමේදී කෙම් යනු මිනිසාගේ දෛනික ජීවිතයේ විවිධ අවස්ථාවලදී මෙන්ම කෘෂිකාර්මික කටයුතුවල දී පැන නගින විවිධ රෝගාබාධයන්ගෙන් හා බාධකවලින් අස්වැසිල්ලක් ලබා ගැනීම පිණිස ඖෂධ, යන්ත‍්‍ර මන්ත‍්‍ර, පිරිත්, ගාථා ආදිය උපයෝගී කරගනිමින් අනුගමනය කරන ඵලදායි ආරක්ෂක පිළිවෙතක් ලෙස ද හැඳින්විය හැකිය.
   අනාදිමත් යුගයේ සිට ජනයා අතරින්  ප‍්‍රභවය ලබා ජනයා ඇසුරේ වැඩුණු කෙම් ව්ධි වල ආරම්භය සෙවීම උගහට වුවත් වෘක්ෂලතාවන්ගේ පහස ලබමින් ජීවත් වූ යුගයක මිනිසා ලත් අත්දැකීම් තුළින් ගොඩනැඟුණු මහා පරිමාණයේ පරාසයක් විදහා දක්වන්නක් ලෙස  කෙඳිති හැඳින්විය හැකිය. 
   හෙළ වෙදකමට අනුව ද කෙම් සඳහා හිමිවන්නේ වැදගත් ස්ථානයකි. මේ සඳහා හොඳම නිදසුන වන්නේ හෙළ වෙදකමේ අනන්‍යතාවය විදහා දක්වන සර්ප විෂ වෙදකම යි. වර්තමානයේ දී අප රටේ දේශීය විෂ වෛද්‍ය ශාස්ත‍්‍රය වශයෙන් භාවිත වන්නේ භාරත දේශයෙන් දායාද කොට ගත් අෂ්ඨාංග ආයුර්වේදයේ  අගද තන්ත‍්‍ර නම් වූ අංගයයි. එහෙත් එය භාරතයෙන් ලැබී ඇති අගද තන්ත‍්‍රය ම නොව, මෙරටට ආවේණික වූ අප රටේම නිපදවන ලද යන්ත‍්‍ර මන්ත‍්‍ර. ඖෂධ හා කෙම් වලින් පෝෂණය වූවක් ලෙස සැලකිය හැකිය. 
      රෝග නිවාරණය සඳහා සිංහලයන් අතර භාවිතා වන චිකිත්සක අභිචාර විධියක් ලෙස ද කෙම් හඳුනාගත හැකිය. පූජාවලිය, සද්ධර්මරත්නාවලිය, යෝගරත්නාකරය  වැනි  කෘතීන්හි කෙම් යන වචනය යෙදී ඇත්තේ රෝග නිවාරණය සඳහා කරන ක‍්‍රියාවන්  හැටියටය. සිංහල ජන ව්‍යවහාරයේ දී පෙනෙන ආකාරයට  කෙමක් කිරීම යනු රෝගියා සමග වාචික සන්නිවේදනය ඇති කොටගෙන කරනු ලබන ප‍්‍රතිකාර ක‍්‍රමයකි. එමෙන්ම කෙම් ක‍්‍රම යන වචනය සමග රහස් හෝ රහසිගත යන අදහස ද ගැබ්ව පවතින බව පෙනේ. කිසියම් රෝගයක වූ රෝගකාරක තත්වයන් සඳහා  කෙමක් දන්නා තැනැත්තා වෙනත් කෙනෙකුට එම දැනීම වාචිකව සන්නිවේදනය   කරනු නොලබයි. ඔහු තුළ ඇති දැනුම වෙනත් කෙනෙකුට දැන ගන්නට සලස්වන්නේ කෙම් ක‍්‍රමයේදී භාවිත කෙරෙන බෙහෙත හෝ එය පාවිච්චි කරන ආකාරය නිර්නාමිකව දැනගන්ට සැලැස්වීමෙනි.
        දැනුම සම්පතක් සේ අගය කළ යුගවලදී තමා දැනගත් දේ  සෙස්සවුන්ට නොදී ආරක්ෂා කිරීම තුළින් සාමාජික වැදගත්කමක් මෙන්ම වාසි සහගත තත්ත්වයන් ලැබීමේ පුරුද්ද සෑම සරල සමාජයකම දක්නට ලැබෙන සමාජ සංසිද්ධියකි. ගුරුමුෂ්ඨිය හැටියට පවුලේ රහස් දැනීමේ හැටියට පුරුදු පුහුණු කර ගෙන එන ලද්දේ ය (චන්ද්‍රසිරි පල්ලියගුරු,2005).
               කිසියම් වෙදකමක්  හෝ පිළියමක් කෙමක් වශයෙන් පිළිගැනීමට නම් ඒ පිළියමෙහි කිසියම් ගුප්ත ලක්ෂණයක් තිබිය යුතුය. එබඳු ගුප්ත ලක්ෂණයක් නොවේ නම් එම පිළියම හැඳින්විය යුත්තේ කෙමක් හැටියට නොව  වෙදකමක් හැටියටය.  ඇතැම් කෙම් ක‍්‍රම වෙද හෙදකම් වලට බෙහෙවින් සමානය. එහෙත් ඒවා වෙදකම් වශයෙන් නොව කෙම් වශයෙන් සලකනු ලබන්නේ ඒවායේ ගැබ්වන ගුප්ත ලක්ෂණ නිසාය. 
   මේ ආකාරයට විමසා බැලීමේදී අතීතයේ සිටම කෙම් විධි සමග නොසිදෙන  සම්බන්ධතාවක් පැවති බව මනාව ප‍්‍රකට වන්නේය. හිරු සඳු ගෙන් ගත් ආශිර්වාදයත් සොබාදහමින් ලත් දායාදයනුත් සැලකිල්ලට ගෙන ජීවත් වූ සරල සමාජයේ මිනිසා සතුන්ට මෙන්ම ගහකොළවලට ද දැක්වූයේ දැඩි ලැදියාවකි. මිනිසාගේ ජීවිතය හා බැඳී වෘක්ෂලතා විනාශ කර දැමීම ඔවුන්  හෙලා දැක්කේ  ඒවාට සචේතනික ත්ත්වයක් ආරෝපණය කරමින් ය. ස්වභාවධර්මය විසින් මිනිසාට දුන් මහඟු දායාදයක් වූ වෘක්ෂලතා දේවත්වයෙන් සැලකීමද අරුමයක් නොවේ. ස්වභාවධර්මයාට මිනිසා දැක්වූයේ දැඩි සෙනෙහස නිසාම වර්තමානයේ මෙන් එදා එය මිනිසාට උරණ නොවීය. නිසි කලට අව්, වැසි ලබා දෙමින් සෞභාග්‍ය ළඟා කළේ කෘතගුණ සැලකීමක් ලෙසටය.
                                       මේ අයුරින් සොබා දහමේ පහස ලබමින් කෘෂිකර්මාන්තය ප‍්‍රධාන ජීවන වෘත්තිය කොට ජීවත් වූ මිනිසා තමන්ගේ බව බෝග ද ගව ආදී සතුන් ද රෝග පීඩාදියෙන් ආකුල වූ විට දැඩි චිත්ත සන්තාපයට පත් විය. එහිදී ඔහුට හෙළ වෙදකමත් හෙළ වෛද්‍යවරයාත් මහත් අස්වැසිල්ලක් විය. හෙළ වෛද්‍යවරයා ද ගොවියගෙ බෝග සහ ගව සම්පතත් රැුකීමෙහි ලා ඖෂධ, යන්ත‍්‍ර මන්ත‍්‍ර ඇතුළත් කෙම් විධි ඉවහල් කර ගන්නට ඇත. මෙලෙස අනාදිමත් යුගයේ සිට මිනිසාගේ භවභෝග සම්පත් රැුක ගැනීමෙහිලා කෙම් විධි භාවිතා කළ බවට සාධක සත්ව චිකිත්සක ග‍්‍රන්ථවලින් ද සාහිත්‍ය ග‍්‍රන්ථවලින්ද තොරතුරු හෙළි වේ.
                           ශ‍්‍රී ලංකාවේ ජනශ‍්‍රැති අධ්‍යයනයේකදී සුවිශේෂී අවධානයක් යොමු කළ යුතු ක්ෂේත‍්‍රයක් ලෙස අපටම ආවේණික වූ කෙම් පහන් ක‍්‍රම හැඳින්විය හැකිය. ආරක්ෂාව අරමුණු කොටගත් ක‍්‍රියාවලියක් ලෙසින් ද සැලකිය හැකි කෙම් පහන් ක‍්‍රම ක‍්‍රියාත්මක නොවන ජීවිතයේ කිසිදු අංශයක් ඇතැයි සිතිය නොහැකිය. උපතේ සිට විපත දක්වා පුද්ගලයන්ගේ ජීවිත චර්යාවන් මෙන්ම ලෙඩ දුක්,  වෘත්තීන් ආදී කොට ගත් සෑම අංශයක්ම ආවරණය කරන කෙම් පහන් අප‍්‍රමාණ සංඛ්‍යාවක් ඇත. ඒවා ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට වෙනස් වන අතර එකම අංශයට අදාළව බහුවිධ කෙම් පහන් ක‍්‍රම දැකිය හැකිය. බොහෝ විට මේවා පිළියම් ක‍්‍රම, පිළිවෙත් විය. අරමුණු ඉටුකර ගැනීමේ ඒකායන මග ද විය.

2 comments:

නුඹෙි සෙනෙහස